Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පළාත්සභා මැතිවරණය සහ ජනාධිපතිවරණය එකම දිනක පැවැත්වේවි ද?

සීමා නිර්ණ කමිටු වාර්තාව ඉදිරිපත් නොකිරීම හේතුවෙන් නිල කාලය ඉක්ම වූ ඇතැම් පළාත් සභා මහජන නියෝජිතයන් නොමැතිව පවත්වාගෙන ගොස් ඇති කාලසීමාව මේ වනවිටත් අවුරුදු දෙකක් ඉක්මවා ගොස් තිබෙනවා.  ඌව පළාත් සභාව හැර සෙසු පළාත් සභා සියල්ලෙහිම නිල කාලය ඉක්ම ගොස් ඇති අතර, ඒ සියල්ල පාලනය කරනු ලබන්නේ පළාත් ආණ්ඩුකාරවරුන් විසින්.  

සීමා නිර්ණ කමිටු වාර්තාවක් නොමැතිව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසීමක් සිදුකරනු ලැබුවා.  ඒ අනුව එළඹෙන 23 වන දා ජනාධිපතිවරයාගේ මෙම මත විමසුම පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සලකා බැලීමට නියමිත වනවා.

කෙසේ වෙතත් යම් හෙයකින් පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් මැතිවරණ නීතියට අනුව කිසිදු අයුරකින් ජනාධිපතිවරණය කල් යෑමට එය හේතුවක් නොවන බව පැෆ්රල් සංවිධානය පවසනවා. මැතිවරණ නීතියට අනුව ජනාධිපතිවරණය හා පළාත් සභා මැතිවරණය එකම දිනයක පැවැත්වීමට හෝ ආසන්න දිනවලදී පැවැත්වීමට බාධාවක් නොමැති බවයි එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පසුගියදා සඳහන් කළේ ජනාධිපතිවරණ දිනයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නම් අවම වශයෙන් ඔක්තෝම්බර් මස 15 වැනිදා වනවිට එම මැතිවරණය පැවැත්විය යුතු බවයි. මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ මැතිවරණ කොමිෂන් සභාව අතර මීට දින කිහිපයකට පෙරද ඉදිරි මැතිවරණ පිළිබඳ සාකච්ඡාවක් පැවැති අතර, එහිදී ජනාධිපතිවරණය සහ පළාත් සභා මැතිවරණය එකම දිනයක පැවැත්වීම කෙරෙහි මැතිවරණ කොමිෂන් සභාව වැඩි නැඹුරුතාවයක් දක්වා නැහැ. 

කෙසේ වෙතත්, අද වනවිට පවතින තත්ත්වය මත මේ අවස්ථාවේ පළාත් සභා මැතිවරණයක් කැඳවීම කිසිදු ගැටළුවක් නොවන බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් කියා සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu